Monday, July 25, 2016

දෙව්ලොව දොරටුව

චීනයේ හුනෑන් ( Hunan ) පළාතේ Tianmen කදු පන්තියේ දක්නට ලැබෙන පාෂාණ ඛාදනයෙන් ස්වාභාවිකවම නිර්මාණය වෙච්චි මේ විවරය හැදින්වෙන්නේ Heaven's Gate එහෙම නැත්නම් දෙව්ලොව දොරටුව කියල.

මුහුදු මට්ටමේ සිට අඩි 4,983 උසින් පිහිටි මේ විවරය නැරබීමට යන කිලෝමීටර් 7.5 දිග කේබල් කාර් ගමන් මාර්ගය සැලකෙන්නේ ලෝකයේ දිගම කේබල් කාර් මාර්ගය විදිහට.
ඒ වගේම මේ විවරය මුදුනට ලගා වීමට පඩි 999 කින් සමන්විත පියගැට පෙළක්ද තරණය කරන්න සිද්ධ වෙනවා.






Thursday, July 21, 2016

ක්වීන්ස්ලන්තයේ සුදු වෙරළ තීරය

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට යාබදව පිහිටා ඇති Whitsunday දිවයිනේ දක්නට ලැබෙන මනස්කාන්ත Whitehaven වෙරළ තීරය සැලකෙන්නේ ලෝකයේ සුපිරිසිදු පරිසර හිතකාමී වෙරළ තීරයක් ලෙසයි.

කිලෝමීටර් 7 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී පවත්නා මෙම වෙරළ තිරයට සුනඛයන්ගෙන ඒම සපුරා තහනම් වන අතර දුම්බීමද තහනම් වේ.

මෙම වෙරළ තිරයේ දක්නට ලැබෙන 98% ක සුපිරිසිදු සිලිකා ප්‍රතිශතයක් අඩංගු දීප්තිමත් සුදු වර්ණයෙන් යුත් වැලි නිසා Whitehaven නාමය ලැබී ඇත.

මේ දිවයින ආශ්‍රිත ප්‍රදේශයේ එතරම් සුපිරිසිදු වැලි දක්නට නොලැබෙන නිසා මේ වැලි මීට අවුරුදු මිළියන ගණනකට පෙර දියවැල් ඔස්සේ මේ ප්‍රදේශ වලට ගෙන එන්නට ඇතැයි සැලකේ.

උල්කාපාත ආවාටයක් තුල පිහිටා ඇති සුන්දර නගරයක්

ජර්මනියේ Bavaria ප්‍රදේශයේ පිහිටා ඇති Nordlingen නගරයට ලැබෙන්නේ මිහිතලයේ අන් කවර නගරයකටවත් නොලැබෙන ආකාරයේ සුවිශේෂී ස්ථානයක්.


ඒ අතිශය සුන්දර මේ නගරය දැවැන්ත උල්කාපාත ආවාටයක් තුල පිහිටා තිබීමෙන්.

මීට වසර මිළියන 14.5 කට පමණ පෙර සැතපුමක් පමණ වන උල්කාවක් පෘතුවිය මත ගැටීමෙන් කිලෝමීටර් 25 ක පමණ විශ්කම්භයෙන් යුතු ආවාටයක් බිහිවී ඇති අතර පසුව එය තුල ගොඩනැගුනු නෙත් පිනවන සිත් සනසන මේ අලංකාර නගරයේ අද වන විට 24,000 පමණ ජනතාවක් ජිවත් වෙති.


ලොව ප්‍රභලම ජල පහර සහිත දිය ඇල්ල

Kaieteur Falls , Guyana
ලොව දක්නට ලැබෙන දිය ඇලි වලින් ප්‍රභලම ජල පහර සහිත දිය ඇල්ල (most powerful single drop waterfall in the world) ලෙස සැලකෙන්නේ ගයනාවේ ඇමසන් වනාන්තරයේ පිහිටා ඇති Kaieteur නමින් හැදින්වෙන දිය ඇල්ලයි.

කිසිදු බාධකයකින් තොරව අඩි 741 ක උසක සිට එක එල්ලේ කඩා හැලෙන මෙම දිය ඇල්ලේ ජල ධාරිතාවය ලෙස ගණනය කර ඇත්තේ තත්පරයකට ජලය ලීටර් 662,600 ක්(තත්පරයකට කියුබික් අඩි 23,400 ).

එලෙස කඩා හැලෙන මේ දැවැන්ත ජල පහරේ ඇති ප්‍රබලත්වය නිසාම Kaieteur දිය අල්ල ලොව බලවත්ම දිය ඇල්ල ලෙස නම් දරා තිබෙනවා.
*** දිය ඇල්ල ආරම්භක මට්ටමේ සිට අවසන් මට්ටම දක්වා ජලය එක එල්ලේම පතිත වන දිය ඇලි හැදින්වෙන්නේ single-drop waterfall නමින්.
මුලාශ්‍රය : wikipedia.org




Wednesday, July 20, 2016

මිහිතලයේ සීතලම නගරයේ උෂ්ණත්වය සෘණ 30 යි

ලෝකයේ ඇති උෂ්ණත්වයෙන් අඩුම මිනිසුන් ජිවත් වෙන ප්‍රදේශය එසේත් නැතහොත් ශිතම ස්ථිර ජනාවාසය ලෙස සැලකෙන්නේ රුසියාවේ " Oymyakon " නමින් හැදින්වෙන ගම්මානයයි.ජනවාරි මාසයේ සාමාන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50 ( -50 ) ගන්නා මෙහි මෙතෙක් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය ලෙස සැලකෙන්නේ සෙල්සියස් අංශක සෘණ 71.2 ( -71.2 ) කි.වසරේ අනෙකුත් මාස වල සාමාන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 ක් පමණ වෙයි

මෙවන් අතිශය කටුක දේශගුණයක පිහිටි මෙම ගම්මානයේ 500 ක පමණ ජනගහනයක් ජිවත් වෙන අතර ඔවුන් තමන්ගේ දෛනික අවශ්‍යයතා ඉටු කරගන්නේ විවිධ දුෂ්කරතා මධ්‍යයේය.කිසිදු හරිත ශාකයක් නොවැඩෙන මෙම පළාතේ නගර වැසියන්ගේ ප්‍රධාන ආහාරය වී ඇත්තේ මසුන් , පිනි මුවන් , ගවයන් සහ අශ්ව මාංශ වේ.ගල් අගුරු බලාගාරයකින් ජනනය කෙරෙන විදුලි බලයෙන් මෙම නගරය පණ ගැන්වෙන අතර නිවාස උණුසුම් කිරීමට සහ අනෙකුත් ඉවුම් පිහුම් සදහා යොදා ගන්නා ශක්ති ප්‍රභවය ලෙස දර සහ ගල් අගුරු භාවිතා වේ.

ගුවන්තොටුපළක් , විශ්ව විද්‍යාල , පාසල් , නාට්‍ය ශාලා, කෞතුකාගාර වලින් සමන්විත මෙම ගම්මානයේ වැසියන් සතු වාහන වල ඉන්ජින් පැය 24 මුළුල්ලේම ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒවා අක්‍රිය කල හොත් නැවත පණ ගැන්වීමට නොහැකි වේ යැයි ඇති බිය නිසාය.තවද ඔවුන් විසින් මුහුණ දෙන ප්‍රධාන ගැටළු වී ඇත්තේ ලිය කියවිලි සදහා යොදා ගන්නා තීන්ත මිදීමත් , බැටරි අක්‍රිය වීමත් ජංගම දුරකථන කිසිවක් මෙම අධික සීතලට ඔරොත්තු නොදීම නිසා භාවිතා කිරීමට නොහැකි වීමත් පුද්ගලයෙකු මිය ගිය විට මල සිරුර මිදීම නිසා වැළලීමට නොහැකි වීමත්ය.එමෙන්ම මෙම නගරයේ නිවාස වල වැසිකිලි එළිමහනේ ගොඩ නගා ඇත්තේ නිවාස ඇතුලත නළ පද්ධති සියල්ල අධ්ක ශීතලට මිදීමට ලක් වෙන නිසාය.

මෙහි ඇති දේශගුණය මෙම නගරවාසීන්ගේ ජිවිත වලට කෙතරම් කටුක බවක් දුෂ්කරතාවයක් ගෙන දුන්නත් ඒ සියල්ල තමන්ගේ ජිවිත බවට පත් කරගෙන සතුටින් ජිවත් වන ආකාරය නම් විශ්මය ජනකය.









යුක්රේනයේ යුධ ටැංකි සුසානය

මේ ඡායාරූප පෙලින් දිස් වන්නේ නැගෙනහිර යුක්රේනයේ රුසියානු දේශ සීමාවට කිලෝමීටර් 20 ක් දුරින් පිහිටි Kharkiv නම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය යුධ ටැංකි කම්හලකි.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පවත්වාගෙන ගිය මෙම භූමියට ඇතුළු වූ ජයාරූප ශිල්පියෙක් දිරායමින් පවතින සියගණනක් වූ බර අවි කැමරා කාචයේ සටහන් කර ගැනීමට සමත් වී ඇත.1991 වර්ෂයේදී සෝවියට් සමුහාණ්ඩුව බිද වැටීමත් සමග යුක්රේන රජයට අයිති වූ මෙම කම්හල පවත්වාගන යාමට තරම් ධනයක් නොමැති වීමෙන් 400 කට අධික T-64 , T-72 , T-80 යුධ ටැංකි , එන්ජින් සහ අනකුත් අමතර කොටස් අව්වට වේලෙමින් වැස්‌සට තෙමෙමින් මෙසේ දිරාපත් වෙමින් පවතී.

කම්හලේ සක්‍රිය නිෂ්පාදන කාලය තුල මසකට යුධ ටැංකි 60 ඉන්ජින් 55 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බවට වාර්තා වෙයි.දැනටත් රුසියාව,බෙලාරූස් ,ස්යිප්‍රසය,පකිස්ථානය,දකුණු කොරියාව ආදී රටවල මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත T-72 , T-80 යුධ ටැංකි ,සක්‍රීයව යුධ මෙහෙයුම් සදහා දායකත්වය සපයයි.



කොස්ටාරිකාවේ නිල් ගඟ

කොස්ටාරිකා ජනරජයේ වනෝද්‍යානයක දක්නට ලැබෙන " රියෝ සෙලෙස්ටෙ " නමින් හැදින්වෙන ගංගාව හරිම සුවිශේෂී එකක් වෙලා තියෙන්නේ එහි දක්නට ලැබෙන දීප්තිමත් නිල් පැහැය නිසා.



ගිනි කදු ක්‍රියාකාරිත්වය සහිත ප්‍රදේශයකින් ආරම්භ වෙන කුඩා ගංගා දෙකකින් මෙම ගංගාව පෝෂණය වේ.

එක් ගංගාවක ජලයහි අඩංගු තඹ , කැල්සියම් කාබනේට් සහ සල්ෆර් යන මුලද්‍රවය අනෙක් ගංගාවේ ජලයෙහි අඩංගු ඇලුමිනියම් සහ සිලිකන් යන මුලද්‍රවය සමග එකතු වීම නිසා මෙම ජලයට ආකර්ශනීය නිල් පැහැයක් ලැබී ඇතැයි පැවසේ.





කොකා කෝලා රහස් වට්ටෝරු සුරක්ෂිතාගරය

සුප්‍රකට ෆොර්බ්ස් සගරාවට අනුව ලෝකයේ ඉහළම වටිනාකමෙන් යුත් සන්නම් නාම අතුරින් හතර වැනි ස්ථානයේ (ඇ.ඩෝ. බිලියන 56) වැජබෙන්නේ සුප්‍රසිද්ධ කොකා කෝලා සමාගමයි.

1886 වර්ෂයේදී ඖෂධවේදී John S. Pemberton’s විසින් කොකා කෝලා නිෂ්පාදනයට අවශ්‍ය කරන වට්ටෝරුව ( Coca-Cola formula ) සොයා ගන්නා ලද අතර එම ලිඛ්ත වට්ටෝරුව 2011 වසර වෙන තෙක්ම ඉතා සුරක්ෂිතව තැබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටාහි SunTrust බැංකුවෙහි සුරක්ෂිතාගාරය තුලයි.

නමුත් 2011 වර්ෂයේ සිට අවුරුදු 125 පැරණි ඒ රහස් වට්ටෝරුව ඇට්ලන්ටාහි World of Coca-Cola කෞතුකාගාරයේ සුරක්ෂිතාගරයක් (Vault) තුල තැම්පත් කර ඇති අතර මහජනයාට එම සුරක්ෂිතාගරයේ යම් කොටසක් නැරඹීමට අවසර තිබුනත් රහස් වට්ටෝරුව සහිත ප්‍රදේශයට ඇතුළු වීමට අවසර නැත.මෙය සැලකෙන්නේ ලෝකයේ වඩාත්ම ආරක්‍ෂිත සුරක්ෂිතාගරයක් ලෙසය.





ලස්සන වෙන්න තොල් තැටි පළදින ඉතියෝපියාවේ සුර්මා ලදුන්

බටහිර  ඉතියෝපියාවේ ඔමෝ ගංගා ( Omo River ) නිම්නයේ හරිත වනාන්තර සහ තෘණ භූමි අතර ජිවත් වෙන සුර්මා ගෝත්‍රයේ කාන්තාවන් ( Surma ) අමුතුම ආකාරයේ තොල් තැටි ( lip discs ) විශේෂයක් පළදිනු ලබයි.

සුර්මා ගැහැණු ළමයින් වැඩිවියට පත් වීමත් සමගම තොල් තැටි පැළදීම සදහා සුදුසුකම් ලබන අතර ඒ සදහා යටි හනුවේ ඉදිරි පස දත් දෙක ඉවත් කිරීමට සිදු වේ.ඉන්පසු මැටි වලින් හෝ ලීයෙන් තැනු තැටියක් යටි තොලට ඇතුල් කරනු ලබයි.ගැහැණු ළමයින් වයසින් වැඩෙත්ම තොල ඇදීමට ලක් කරමින් තැටියේ ප්‍රමාණය විශාල කරණු ලබයි.

සුර්මා සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කෙරෙන සංකේතයක් වශයෙන් සැලකෙන තොල් තැටි පැළදීම එම ගෝත්‍රයේ කාන්තාවකට සුදුසු සහකරුවෙකු සොයා ගැනීම සදහාත් විශාල දෑවැද්දකට උරුමකම් කීම සදහාත් වැදගත් වෙයි.තැටියේ විශාලත්ව අනුව දෑවැද්දේ ප්‍රමාණයද විශාල වෙයි.සුර්මා ගෝත්‍රික චාරිත්‍ර අනුව පිරිමියා විසින් දෑවැද්ද ලබා දෙන්නේ මනාලියගේ පාර්ශවයටය.උදාහරණයක් වශයෙන් අගල් 5 ක තැටියක් පැළදීම ගවයන් 50 ක පමණ දෑවැද්දකට උරුමකම් කීමට මනාලියට හැකි වෙයි.
කෙසේ වෙතත් මෙම වේදනාකාරී චාරිත්‍රය සහිත සුර්මා ගෝත්‍රය අප්‍රිකානු මහද්වීපයෙන් සිඝ්‍රයෙන් තුරන් වී යන ජන කොට්ඨාශයක් වශයෙන් සැලකේ.



දැවැන්තයන්ගේ කෙලි බිම

ඇමරිකා එක්සත් ජනපදේ කොලරාඩෝ ප්‍රාන්තයේ මොරිසන් කදුවැටිය සැලකෙන්නේ මිහිතලයෙන් වදවී ගොස් ඇති ඩයිනෝසෝරයන්ගේ ක්‍රියාකාරකම් බහුලව තිබූ ප්‍රදේශයක් ලෙසටය.

ලොවෙන් සැගවී තිබුණ මේ ප්‍රදේශය 1877 වර්ෂයේ සොයා ගැනීමෙන් පසු කරන ලද කැනීම් වල ප්‍රථිපලයක් ලෙසයි Apatosaurus, Diplodocus, Stegosaurus, සහ Allosaurus යන ඩයිනෝසෝර විශේෂ පෘතුවියේ වාසය කලා යැයි සොයාගෙන ඇත්තේ.

මීට අවුරුදු මිළියන 145 - 201 අතර කාලයේ මෙම භූමි කලාපය නිර්මාණය වී තිබී ඇත්තේ ගංගා සහ මඩ නිම්න වලින්. මෙම නිම්න වල ජිවත් වුණු ඩයිනෝසෝරයන් මියගිය පසු ඔවුන්ගේ සිරුරු ෆොසිල බවට පත් වී මෙලස තැම්පත් වී ඇති බවයි විශ්වාස කරන්නේ.
මේ භූමියේ සංචාරය කරන්නෙකුට පාෂාණභූත වූ ඩයිනොසෝර පා සලකුනු සිය ගණනක් අද වෙන විටත් දැක බලා ගැනීමට හැකියාව ලැබෙන අතර මේ ප්‍රදේශයේ ඇති වැදගත්කම නිසාම “Morrison Fossil Area National Natural Landmark” නමින් සංරක්ෂණ කලාපයක් විදිහටත් නම් කර ඇත.





World's largest pool @ Alfonso del Mar resort, Chile

World's largest pool @ Alfonso del Mar resort, Chile
ලොව විශාලතම එළිමහන් පිහිනුම් තටාකය ලෙස සැළකෙන්නේ චීලිහි , Algarrobo නගරයේ සැන් අල්ෆොන්සෝ ඩෙල් මාර් නිවාඩු නිකේතනයේ දක්නට ලැබෙන පිහිනුම් තටාකයයි.

අක්කර 20 පුරා පැතිරුණු මේ දැවැන්ත පිහිනුම් තටාකයේ දිග අඩි 3,323 වන අතර ජල ධාරිතාව ලෙස සැලකෙන්නේ පිරිසුදු මුහුදු ජලය ලීටර් මිළියන 250 ක්.

පරිගණක මගින් පාලනය වන පෙරහන් පද්ධතියක් මාර්ගයෙන් මුහුදු ජලය තටාකය වෙත පොම්ප කරන අතර ජලයේ උෂ්ණත්වය සෑම විටම සෙල්සියස් අංශක 26 මට්ටමේ තබා ගැනීමට වග බලා ගැනේ.

2006 දෙසැම්බර් මාසයේදී මහජනයා සදහා විවෘත වුනු මෙම පිහිනුම් තටාකය තුල පිහිනීම සහ ජල ක්‍රීඩා වලට අමතරව ඔරු පැදීම, සර්ෆින් , බෝට්ටු සවාරි සදහාද පහසු කම් සලසා ඇත.





චීනයේ අරුම පුදුම ගල් වනාන්තරය

චීනයේ යුනාන් පළාතේ දකින්න ලැබෙනවා වෙනස්ම ආකාරයේ වනාන්තරයක්.Shilin Stone Forest නමින් හැදින්වෙන මෙහි දකින්න ලැබෙන්නේ මහා වෘක්ෂයෙන් මෙන් නැගී සිටින දැවැන්ත ගිරි කුල්.

වර්ග කිලෝමීටර් 300 පමණ වසා පැතිරුණ මේ අරුම පුදුම " ගල් වනාන්තරය " වසර මිළියන 270 වඩා පැරණි යැයි සැලකෙනවා.

භූ විද්‍යාඥයින් පවසන පරිදි Paleozoic යුගයේ (වසර මිළියන 300 පෙර) මෙම ප්‍රදේශය තිබී ඇත්තේ සාගරය පතුලේ පාෂාණීභූතව.පසුව ශිලා ගෝලයේ සිදුවුණු වෙනස් කම් නිසා පාෂාණ ස්ථරය උඩට මතු වී ජලය ක්‍රමයෙන් බැස ගොස් තිබෙනවා.

ඉන්පසු වසර මිළියන ගණනක් තුල සිදුවූ පාෂාණ ඛාදන හා ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රථිපලය ලෙසයි අප අද දකින ගල් වනාන්තරය නිර්මාණය වී ඇත්තේ.

කුඩා හා විශාල ගල් වනාන්තර දෙකකින්ද ලෙන් දිය ඇළි ,අලංකාර පොකුණු ආදියෙන් සමන්විත මේ මනස්කාන්ත භූ විෂමතාවය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කොට තිබෙනවා.