Monday, September 12, 2016

ලෝකයේ ලොකුම මාළු මාකට් එකේ රවුමක් යමු...

ලොව විශාලතම මාළු වෙළදපොළ (The Largest Fish and Seafood Market in the World - Tsukiji fish market, Tokyo, Japan )
+ + + + + + + + + + + + + +
ජපානයේ මධ්‍යම ටෝකියෝවේ Sumida ගඟ අසබඩ Tsukiji මාළු වෙළදපළ සැලකෙන්නේ ලොව විශාලතම මාළු සහ මුහුදු ආහාර වෙළෙඳපළ ලෙසයි.1935 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙය ජපානය වෙත පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සුවිශේෂී ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධය.

වාර්ෂිකව මාළු සහ මුහුදු ආහාර ටොන් ලක්ෂ 7ක් පමණ පරිභෝජනය කරමින් ලෝකයේ අංක එක ස්ථානයේ වැජබෙන Tsukiji වෙළදපොලේ සාමාන්‍ය දෛනික පිරිවැටුම ලෙස වාර්තා වෙන්නේ ඇමරිකානු ඩොලර් මිළියන 28 කි.

එය ලෝකයේ දෙවන විශාලතම මාළු වෙළදපල ලෙස සැළකෙන මෙක්සිකෝවේ La Nueva Viga Market වෙළදපලේ මෙන් 1.7 ගුණයක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධම මාළු වෙළදපල ලෙස සැලකෙන නිව්යෝක්හි ෆුල්ටන් මාළු වෙළෙඳපලේ (Fulton Fish Market) පරිමාව මෙන් 8 ගුණයකි.

අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම මාළු වෙළදපලේ වඩාත් වැදගත් අංශය ලෙස සැලකෙන්නේ තොග මාළු වෙන්දේසි පැවැත්වෙන jonai shijo නමින් හැදින්වෙන අභ්‍යන්තර වෙළදපළයි. එහි බලපත්‍රලාභී අලෙවි නියෝජිතයන් 900ක් පමණ ක්‍රියාත්මක වෙයි.

jogai shijo නමින් හැදින්වෙන බාහිර වෙළදපල මුළුතැන්ගෙයි උපකරණ, ආපනශාලා සැපයුම් සහ මුහුදු ආහාර අලෙවි කරන තොග හා සිල්ලර කඩ මිශ්‍රණයකින් සමන්විත වෙයි.විශේෂයෙන්ම සංචාරකයින් අතර ජනප්‍රිය සුෂි (අමු මාළු, ලුණු හා බත් තම්බා සාදාගන්නා ආහාරයකි ) අවන්හල් රාශියක්ද මෙම බාහිර වෙළදපලේ දැකිය හැකි වෙයි.

ඉරුදින සහ රජයේ නිවාඩු දිනයන්හි හැර අනෙකුත් සෑම දිනයකම උදෑසන 3 ට වෙළදපලේ කටයුතු ආරම්භ වෙයි.එලෙස වෙළදපල ආරම්භවීමෙන් පසුව ලෝකයේ මහද්වීප 6 ක රටවල් 60 කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන්ගෙන් මෙම භූමිය පිරී ඉතිරියයි.

උදෑසන 5.30ට පමණ වන විට මෙහි වැදගත්ම අංගය වන මාළු වෙන්දේසිය ආරම්භ වෙයි.
අවන්හල් , ආහාර සැකසුම් සමාගම් , විශාල තොග මිලදී ගනු ලබන්නන්ගේ බලපත්‍රලාභී නියෝජිතයින් පමණක් ලංසු තැබෙන මෙම වෙන්දේසිය උදෑසන 7 පමණ වන විට අවසන් වෙයි.

ඉන්පසු සිදු කැරෙන්නේ මිලදී ගත් මසුන් කැපීම සහ ආරක්‍ෂිත ලෙස ඇසිරීමය.මීටර් ගණන් දිග කඩු වැනි පිහියා සහ විද්යුත් කියත් යොදාගනිමින් කැපෙන දැවැන්ත මාළුන් ටොන් ගණනින් ට්‍රක් රථ සහ නැව් වලට ඇසිරීමත් සිදු වෙයි.

උදැසන 11 වන විට බොහොමයක් වෙළදසැල් වසා දැමෙන අතර දහවල් 1 වන විට වෙළදපල භූමිය පිරිසිදු කිරීම ආරම්භ වෙයි.